මට්ටකුණ්ඩලී කථා වස්තුවෙහි අන්තර්ගතය සහ විශ්ලේෂණය
කතාව ආරම්භ කරන්නේ, සැවැත්නුවර අදින්න පුබ්බක නම් බමුණාන කෙනෙක් වෙසෙති. “ඌ තුමූ තණ අග ලූ තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරූ ය.” ඔහු ඉතා ලෝභී තැනැක්තෙකි. ඔහුට එක ම පුතෙක් විය. අදින්න පුබ්බක බමුණාගේ මසුරුබව පළ කළේ උපමාවකිනි. එය පාඨකයාට දැනෙයි. මසුරුබවේ ප්‍රමාණය කවර තරම් ද යන්න කීමට තවත් විවරණ අනවශ්‍යයි. වර්තමානයටත් මට්ටකුණ්ඩලී කථා පුවත මසුරු සිතැත්තන් සලිත කරවන්නට සමත්ය. මේ මසුරු අදින්නපුබ්බක බමුණාට ලද පුතුට කුඩා කල ම ආභරණයක් පැලඳවීමට සිතා ඒ සඳහා වස්තුව විය පැහැදම් කිරීමට ඇති මසුරුබවේ ස්වභාවය කියා සිටියේ “නුග ගස මහත් වත් නුග ඵලය කුඩා වන්නා සේ” සම්පත් මහත් වුවත් අදහස කුඩා බැවින් යනුවෙනි. උචිත තැන උචිත යෙදුම සකසන්නට ධර්මසේන හිමියන් සතු ව පැවති සමාජ දැනුම අතිමහත් ය. ආභරණයක් සකසන්නට රන්කරුවන්ට බොහෝ මිල ගෙවන්න සිදු වන බැවින් සහ ඔවුන්ට එම කර්මාන්තය කරවන තෙක් දවස් බතුත් දිය යුතු වන නිසා තමා ම පුතට අවශ්‍ය වූ කුණ්ඩලාභරණය සකසා දුන් අයුරු කියා පාන්නේ “අකුරු ලියනා සේ නොදන්නා කෙනෙකුන් පත්වල හිරි හඳිනා සේ” කුණ්ඩලාභරණය තළා පියා දුන්හ යනුවෙනි. කුණ්ඩලාභරණයේ ස්වභාවය අවබෝධ කරගන්නට යෙදූ උපමාව කදිම ය. එසේ හෙයින් කුමාරයන්ට නම් තබන්නේ මට්ටකුණ්ඩලී ලෙසින් ය.
බමුණාගේ තද මසුරු බව ප්‍රකට කරන්නට කුණ්ඩලාභරණයේ සිදු වීම රමණීය ලෙස පළමු ව පෙළගැස්වූ කතාකරුවා දෙවනු ව මසුරුබවෙහි ප්‍රබලත්වය ඉස්මතු කරලීම පිණිස කුමාරයාට හට ගත් පාණ්ඩු රෝගි අවස්ථාව නිරූපණය කොට දක්වයි. රෝගී බව උත්සන්න වූ විට බැමිණිය ඒ බව බමුණාට කී කල්හි බමුණා දුන් පිළිතුර ඔස්සේ ද ඔහුගේ මසුරු සිත අනාවරණය කරයි. “පිළියමට වෙදවරුන් ගෙනා කල වෙදකම් නිවන තෙක් බතුත් දුන මැනව; මං කුලීත් දුන මැනව; කෙළවර මිලත් දුන මැනව.” එසේ කියූ බමුණා කිසිදු වියදමකින් තොරව ම ප්‍රතිකාර සොයන්නට සිතා වෙදවරුන් වෙත ගොස් පාණ්ඩු රෝග ඇත්තවුන්ට කුමන ආකාරයේ පිළියම් කෙරෙත් දැ යි සතුටු සාමීචි කථා මාධ්‍යයේ අසා සිටින්නට විය. අදින්න පුබ්බක විසින් “පාණ්ඩු රෝග ඇත්තනුවට කුමන පිළියම් කරවු දැයි” විචාලා සිටියේ ය. උන්ගේ අභිප්‍රායන් දත් වෙදැදුරෝ රෝගය විෂම වන ලෙස බෙහෙත් කියූහ. බමුණා ඒවා දරුවාට සකසා දුන්නේ ය. එයින් දරුවාගේ රෝගය අසාධ්‍ය බවට පැමිණීම ධර්මසේන හිමියන් කියා සිටින්නේ “පය බරවායට පිටකර බෙහෙක් බඳිනා සේ ම, ඇස් සරහන්ට තොල අඳුන් ගානා සේ” කින් වූ හානියක් ලෙසිනි.
අසාධ්‍ය වූ පුතුට අවසන් මොහොතේ වෛද්‍යවරුන් ගෙන්වීම “ආඳා යවා තබා ලා වලපත ගත්තා සේ” වශයෙන් දක්වා ඇත. බමුණාගේ මසුරුබව තෙවනුවත් ප්‍රකට කරන්නේ පුතු මළ පසු අවමංගල්‍යයට එන මිනිසුන්ට ගේ තුළ ඇති සම්පත් පෙනෙන හෙයින් ගෙයින් පිටත පිල පිට පුතු තැබීමෙනි. ඒ බව ධර්මසේන හිමියන් විසින් සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී කතා වස්තුවේ “මූ මළ ඉළවුවට ආ කෙනෙක් ඇතු`ඵ ගෙයි පුරා තුබූ සම්පත් දැක මෙ තෙක් සම්පත් තබාගෙන හිඳ දුප්පතා සේ පුතුට පිළියම් පමණකුත් නො කරවා නසා පී ය, අනේ මේ මහා ලෝභී එකෙක් වනැ’යි මා ලෝභී කොටත් සිතා ගනිති” ලෙස සටහන් ගත කොට ඇත. බුදුන් වහන්සේගේ මහා කරුණා සමාපත්තියට සම වැදී රෝගි ව සිටි මට්ටකුණ්ඩලී ව දුටු බැවින් උන් වහන්සේ ලක් වන පුතු වෙත වඩින බුදු හිමියන් ආලෝක ධාරාවක් විහිදවූ කල මට්ටකුණ්ඩලී ඒ දෙස බලා සිත පහදවා මියැදී තව්තිසා දෙව්ලොව රන්විමනෙක උපදී.
පසුව එතැනට වැඩ උන්වහන්සේ කුමරුට පිහිට වූහ. එහිදී මට්ටකුණ්ඩලී කුමරු මියගොස් තව්තිසා දෙවිලොව දිව්‍ය විමානයක උපත ලැබීමට තරම් බුදුරදුන්ගේ මහා කරුණාව හේතුවිය.
කතුවරයා මූලික තේමාව කොට ගත්තේ ද මේ අවස්ථාව යි; සැදැහැ ඇත්තවුන්ගේ සැදැහැ වඩනට කථාවක් කීමයි. එහෙත් ඒ අවස්ථාවටත් වඩා කතාකරුවා උත්සාහ ගන්නේ මේ කතා පුවත් ඔස්සේ මසුරු මිනිසුන්ට කිසියම් පාඩමක් කියා දීම යි; මසුරුජනයා මසුරුබවින් මුදාගැනීම යි. ඒ වෙනුවෙන් මේ කතාපුවත අපූරු ලෙස පෙළ ගස්වන දම්සෙනෙවියෝ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා හා අදින්නපුබ්බක හමුව හා සංවාදය ඉතා ප්‍රබල ලෙස පාඨකයා වෙත රැගෙන එයි. මට්ටකුණ්ඩලී මියැදී දෙව්ලොව ඉපැදීමෙන් නිම වූවා නම් මෙය ප්‍රබල කථාවක් නොවන්නට තිබිණි.
දරුවා ආදාහනය කොට ව්‍යාජ දරු පෙමකින් සොහොනෙහි හඬන අදින්නපුබ්බක වෙත එන මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා ද හඬන්නට පටන් ගනී. අදින්නපුබ්බක ඒ වෙත පැමිණ හඬන්නේ හැයි දැ යි විමසා තම රථයට රෝද දෙකක් අවශ්‍ය බව කියූ කල්හි එය රනින් සාදා දෙන්නට බමුණා පොරොන්දු වීම තුළ මතු කෙරෙන්නේ ප්‍රබල උපහාසයකි. අවසන ඉර හා හඳ හැර වෙනත් රෝද අනවැසි බව කීමෙන් දිව්‍ය පුත්‍රයා පියාගේ ශෝකය හැර-ලන්නේ තමා ඇසට පෙනෙන යමක් ඉල්ලා හඬද්දී නොපෙනෙන යමක් ඉල්ලා හඬන බමුණා මෝඩයකුගේ ස්වභාවයට පත් කරවීමෙනි. අවසන බුදුන් වෙත පැමිණෙන අදින්නපුබ්බක බුදුන්ට දන් දී මසුරුසිත දුරු කරවා සෝවාන් ඵලයෙහි පිහිටි අයුරු කියමින් කථාව නිමා කරන්නේ ‘සද්ධර්මරත්නාවලී නමැති කැටපතින් සදහම් නමැති මුහුණ බලා හොබනේ මැනැවි‘ යනුවෙනි.
මට්ටකුණ්ඩලී කතා වස්තුවේ එන චරිත නිරූපණය
මෙම කතා වස්තුව ගත් කල එහි ප්‍රධාන වශයෙන් නිරූපිත චරිත දෙකකි. එනම්,
■ අදින්න පුබ්බක බමුණාගේ චරිතය
■ මට්ටකුණ්ඩලී කුමාරයාගේ චරිතය
අදින්න පුබ්බක බමුණාගේ චරිතය
එකී චරිත ද්විත්වය තුළින් දැකිය හැකි චරිත ලක්ෂණයන් පහත පරිදි පෙන්වා දිය හැකිය. අදින්න පුබ්බකගේ චරිතයහි අරුත වන්නේ ‘නොදුන් විරු’ යි. මෙම නාමය තුළින් ඔහුගේ චරිත ලක්ෂණ හෙළි වේ. ආරම්භයේ දී ම ඔහුගේ මසුරුකම මෙසේ අනාවරණය කරයි. “තණ අග ගලා තෙල් බිඳුවක් විතරක් අනුනන්ට නොදුන් විරු ය.” ඔහු හා සමාන ලෝභී පුද්ගලයෙකු වූ ඉල්ලීස සිටුවරයාට සමාන කරමින් කෙරෙන හැඳින්වීම පාඨකයා ගේ සිතට ඔහු පිළිබඳ පූර්ව නිගමනයක් ලබා දේ. ඔහු තම පුතාට “ජීවිතය සේ ඉතා ප්‍රියයෝ ය.” චරිතය නිරූපණය වන්නේ මේ පුතුට සලකන අයුරු තුළයි. මීට අමතර ව බමුණු මතධාරී, යමක් ඇසූ පමණින් පිළි නොගත්හ. මෙම චරිත ලක්ෂණ මොහු තුළින් විද්‍යාමාන වෙයි. තමාගේ ප්‍රාණය සේ ආදරය කළ පුතාගේ ලෙඩට බෙහෙතෙක් නොකර මසුරු බමුණා සත්‍ය අවබෝධ කර ගැනීමෙන් පසුව තමා සතු ධනය බුදු සසුනට පූජා කළේ ය.
මට්ටකුණ්ඩලී කුමාරයාගේ චරිතය
ලෝභී පියකුට දාව මෙලොව එළිය දුටු අයෙකි. සිටුමාලිගයේ විසූ නමුත් කිසිදු සැපතක් නොවින්දේ ය. හරියාකාර අහරක් නොලැබීම හේතුවෙන් වයස අවුරුදු 16 දී පමණ පාණ්ඩු රෝගය වැළඳෙයි. මෙම කුමාරයා හට මනා උපායශීලී බවක් සහ බුද්ධියක් සතු ය. යුතුකම් ඉටු නොකළ පියාට අවසානයේ වුවත් වෛර නොකිරීම මෙන් ම පිය බමුණාට තිසරණ සරණ ගැන පහදා දීම සිදු කරයි.