(උෟව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, සොරණාතොට ග්‍රාමයේ පවතිත්තා වූ ජනශ්‍රැති වටා ගෙතුනු කෙටි කතාවකි.)
කුඹුරු යාය කෙළවර පිහිටි ලොකු ගල් කුට්ටිය උඩ වාඩි ගත් පනික්කියාගේ හිත ඒ මේ අත දිව යන්නට වුණි.ඈතින් පෙනෙන කෝන් ගහ මුදුනේ වසා සිටි කොබෙයියෙක් ද ඈතින් ඈතට පියාඹා යන ආකාරය ඔහුගේ නෙත ගැටුනේ ය. බෙර වලට ම තඩි බා කරගැට ඉලිප්පී ඇති දෙඅත්ල කම්මුල් දෙපස තබා එරමිණිය ගොතා ගෙන වාඩි වී සිටියේ විඩාබර ස්වරූපයකිනි. නමුත් ඉන් මිදීමට ඔහුට ඔහුගේ සිත සමත් කර ගැනීමට අපොහොසත් වූයේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තා කාලේ ඉදන් ඔහුගේ ලේ වලට ම කා වැදී ඇති බෙර පද නිසා ය. මොහු ඒ ගමේ සිටින ප්‍රබල පාරම්පරික බෙර වාදන ශිල්පියෙකි. එබැවින් නිතර ම ඔහුගේ සිත තුළ දෝංකාර දුන්නේ "ජෙන්ගත් ජෙන්ගත් ජෙං ජෙං තා, කුකුද ගතිත ගත තරිකිට කුංදත් දිරිකිට කුංදත්, කිටිතක දොමිකිට ජෙංතක දොමිකිට....." ආදී ලෙස දවුල් බෙර පදයි.
පනික්කියා තම දවුලේ වරපටි අතගාමින් හරිබරි ගැහුනේ පසුදා උදේ මළුවේගොඩ රජමහා විහාරයේ තේවා වාදනයට ය. එයත් සමග ඔහු තම මායියා සමග දොඩමළු වුයේ පසුදා රාත්‍රියේ බදුල්ල මුතියංගණ රජමහා විහාරයේ වාර්ෂික වෙසක් පෙරහැර බැලීමට තම දරුවන් දෙදෙනා කැටුව යාමේ බලාපොරොත්තුවෙනි. ඒ කතාව අතරතුර පනික්කියාගේ අතිජාත මිත්‍රයා වන විජේසේකර ගෙට ගොඩ වූයේ ඔහු දල්වාගෙන පැමිණි කොලපත ද බිමට ගසා නිවා දැමීමෙනි.
"ආහ් පනික්කියා, උඹ හෙට තේවාවට යන්න ලැහැස්ති වෙනවා වගෙයි." යැයි කියමින් විජේසේකර තම හඩ අවදි කරන්නට විය.
"අම්මේ...... ගිය පෝයට පන්සලේ දි උඹව දැක්කට පස්සේ අදනෙ බං උඹ ව දැක්කේ... " යැයි කියමින් පනික්කියාගේ බිරිද කුස්සිය වෙත පියමැන්නේ තේ කහට උගුරක් සෑදීමේ බලාපොරොත්තුවෙනි.
පනික්කියාත්, විජේසේකරත් මහා දිග ඈදුනු කතාවක යෙදුනේ දිගු කලකින් හමු වූ මිතුරන් වන හෙයිනි. කුප්පි ලාම්පු එලියකින් පමණක් නිවස ආලෝකවත් වූ අතර ඈතින් පන්සලේ ඝණ්ඨාර නාදය ද ඇසෙන්නට විය.
"ඒක නෙවේ බං පනික්කියා, මළුවේගොඩ රජමහා විහාරය වලගම්බා රජතුමා හැදුවා කියන කතාව ඇත්තක් ද?" යැයි විජේසේකර ඇසුවේ ය.
"දෙවි හාමුදුරුවනේ!!!!! උඹ අහන කතාව. කට පරිස්සමෙන් බං. ඒ උත්තමයා මේ විහාරය ලොකු ශ්‍රද්ධාවකින් බං හදලා කියෙන්නේ. බලපන්කෝ මළුවේගොඩ විහාරයේ තියෙන අර ලොකු ඝණ්ඨාර කුළුණ. ඒක හදන්ඩ විතරක් කොයි තරම් ගල් ගේන්ඩ ඇති ද බං? රජෙක්ට හැර වෙන මේ අපි වගේ නිකම් ම නිකම් මිනිහෙක් නම් කොරයි ඕක." යැයි පනික්කියා කියූ අතර ඔහුගේ බිරිද තේ කහට ද රැගෙන සාලයට පියමැන්නා ය.
"සිරිමලුයි නන්දයි අද කලින් ම නිදි ද බං? " යැයි විජේසේකර පනික්කියාගේ බිරිදගෙන් අසා සිටියේ ය.
"ඔව් බං, හෙට මුතියංගනේ වෙසක් පෙරහැර බලන්න යන්න ඔය දෙන්නා දත කටත් මැදන් ඉන්නේ. අද හැන්දෑවේ දෙන්නා ගගට ගොහින් පෙරහැර බලන්න යන්න ඇදුම් පවා සෝදලා වෙන් කර ගත්තා. හෙට රෑට නිදිමත එවි කියලා තමා අද දෙන්නා කලින් ම නිදා ගන්න ගියේ" යැයි ඇය පැවසුවා ය.
ඒ කතාව අසා සිටි පනික්කියා ගෙදර මුදුන් ලීය දෙස බලා කල්පනාවක නිමග්න වී සිටියේ සිතේ කනස්සල්ලෙනි.
"අපේ විහාරයේ ලොකු හාමුදුරුවන් වහන්සේ හෙට හැන්දෑවේ 4ට මට පන්සලට එන්න කීවානේ. ඒත් මං කෙහොමද මගේ පොඩි උන් දෙන්නට ඒක කියන්නේ......? ගිය අවුරුද්දෙත් උන්ට පෙරහැර පෙන්නන්න මට බැරි වුණා. ඒ හින්දා කොහොමහරි මේ අවුරුද්දේ එක්කන් යන්නයි මං බලාන උන්නේ... පන්සලේ අලුත් ආවාස ගෙයි වහල උළු හෙවිලි කරන එක ගැන මොකක් ම හරි එකකට වෙන්න ඕන. ඒකට ගොහින් මට හැන්දෑවේ තේවාවත් අහවර කරද්දි රෑ වෙනවනේ..... මං හිතාන හිටියේ හෙට තේවාව සිරිසේනට භාර කරලා පොඩි උන් ව එක්කන් යන්නනේ....... අනේ දැන් මං පොඩි උන්ගේ මූණ බලන්නේ කොහොම ද?" පනික්කියා හදවතේ තෙරපෙන පිය සෙනෙහස සහ තමා එදා වේල සොයා ගන්නා තම දේවකාරිය වූ රාජකාරිය කරන තැන ලොකු හාමුදුරුවන්ගේ අණක් කොහොමද මග අරින්නේ...... යැයි පනික්කියා සිතන්නට වූයේ ය.
"මේ බං පනික්කියෝ, එතකොට ඔය වලගම්බා රජතුමා මේ ඉසව්වේ මළුවේගොඩ රජමහා විහාරය විතරක් ම ද හදලා තියෙන්නේ?" යැයි විජේසේකර ඇසුවේ ය. එක් වර ම දිගු කලිපනාවක ගිලී සිටි පනික්කියා තිගැස්සී "ආහ්! මොකක් ද බං උඹ ඇහුවේ? මං මේ වෙන කල්පනාවක හිටියේ....." යැයි පනික්කියා පැවසී ය.
"නෑ..... මං මේ ඇහුවේ වලගම්බා රජතුමා මේ ඉසව්වේ මළුවේගොඩ රජමහා විහාරය විතරක් ම ද හදලා තියෙන්නේ කියලා? " යැයි විජේසේකර නැවතත් ඇසුවේ ය.
"අපෝ නෑ නෑ.... ඇයි උඹ දන්නේ නැද්ද බෝපිටිය, අපේ අල්ලපු ගම. අන්න එහේ තියෙන බුදුමුත්තාගල ලෙන් විහාරය?" යැයි පනික්කියා ඇසුවේ ය.
"ආහ් ඔව් ඔව්..... ඒක මොකෝ මං අහල නැත්තේ? එහේ නේද අර පොළොව යටින් යන හොකරයකුත් තියෙන්නේ?" යැයි විජේසේකර ඇසුවේ ය.
"ඔව් බං ඔව්. දවසක් මං ඔය උමග ළගට ගියා. එතකොට අපි බැදලවක් නෑ බං........" යැයි කියමින් පනික්කියා තම මායියා දෙස බලා කට කොනින් සිමින් සිනාවක් ද පෑවේ ය.
"ඔය උමග ඒ අවධියේ හාරලා තියෙන්නේ වලගම්බා රජතුමාට හැංගිලා හිදිමින් පාත්‍ර ධාතුව ආරක්ෂා කර ගන්නලු බං. ඒ පැත්තේ මිනිස්සුන්ගේ තද විශ්වාසයක් ඒක. ඉතිං අහපන්කෝ මට වුණු සිද්ධිය..... දවසක් මං ඔය විහාරයට ගියා. එතන ලෙන් විහාරයක් නේ තියෙන්නේ. ඒ වාගේ ම ඒ ලෙනින් ඇතුළට උමගක් තියෙනවා බං. උමගක් කිව්වට ඒක පොළොව ඇතුළට බහින්න තියෙන්නේ....මාත් ඉතින් අමාරුවෙන් ඔය හොකරෙ අස්සේ රිංගුවා. එතකොට මෙ‘ පනික්කියත් මෙහෙම නෑ.... මගෙත් කොලු කාලෙනේ.... අම්මෝ උඹ දන්නේ නෑ.... ඒකට බැහැලා ඩිංගිත්තක් ඉස්සරහට ගියා විතරයි බං මං දැක්කේ එතන යටින් තියෙන වත2ර ටික. අප්පේ...... ලෝභේ බෑ බං. නිල් කැටේට පංකාදු වතුර ටික. ඒ විතරක් නෙවේ බං ඒ වතුර යටින් පේනවා මැණික් ගල්. එතන තියෙන ඔක්කොම ගල් අපූරැවට දිලිහෙනවා. ආාාාාසාාාාවේ බෑ. මාත් හිමීට බිමට නැවිලා ගත්තා මැණිකි ගල් ටිකක්. ඒක අරන් සරමේ ගැටේට තියලා ගැට ගහ ගත්තේ මගේ මේ මායියා ව මතක් වෙලා බං" යැයි පනික්කියා සෙනෙහෙබර ස්වරයකින් කියන්නට වුණි.
"ඉතිං ඉතිං කියහන්කෝ කතාව..." යැයි නොඉවසිලිමත් ව විජේසේකර කියන්නට වුණි.
"හා හා.... අහපංකෝ එහෙනම්" යැයි පවසා සිටි පනික්කියා නැවතත් තම කතාව ආරම්භ කරන්නට වුණි.
"ඊට පස්සේ බං මං තවත් ටිකක් ඉස්සරහට යන්න ගියා සුද්දා වගේ. ඒත් මට ලොකු බයක් දැනුනා බං. ඝන අන්ධකාරෙ. ඒ මදිවට වවුල් විමානේ. අනිත් කාරනේ තමා බං දැන් ඒ උමග පාවිච්චි වෙන්නේ නැති හින්දා රොන් මඩත් තියෙනවා තැනින් තැන. මං ආපහු හැරිලා උඩට ආව බං. අර මැණික් ගල් බලන්නත් එන්න හදිසියනේ.අනේ මං අර ගල් ටික සරමේ ගැටෙන් ලිහා බලද්දි දැක්කේ, ඒ ගලුත් මේ නිකම් ම නිකන් තියෙන ගල් බං. මැණික් නෙවේ.මං ඒවා ටික එතන ම විසි කරලා දැම්මා. මට අදටත් පුදුමයි බං ඒ වතුර මෙච්චර පිරිසිදු වගේ ම අර මැණික් වගේ ගල් පෙනුනේ කොහොමද මන්දා. ඉර එළිය ඩිංගිත්තක්වත් වැටෙන්නෙත් නෑනේ " ලෙස පනික්කියා පැවසීය.
"ඒකනේ බං, ඉතිං දැන් ඔය බුදුමුත්තාගල ලෙනේ උමග අස්සට ගිහින් ඕකේ අනික් කොන හොයාගෙන නැද්ද කවුරුත් තාම?" යැයි විජේසේකර ඇසී ය.
"දැන් කාලෙකට එපිට........... සිරියාවතී නැන්දලායේ ගේ තියෙන නිනව්වේ ගෙදරක බැල්ලියක් ඔය හොකරෙ අස්සට රිංගවලා තියෙනවලු. පස්සේ ඒකි දිගට ම ඉස්සරහට ගිහින්. ඕක ඇතුලේ තිබ්බ ගද හින්දා ඒකි යන්න ඇති කන්න මල කුණක්වත් ඇති කියලා හිතාන. පස්සේ ඒකි ව ඇතුළට යවපු උන් බලා ඉද්දි ම ඒකි ඝණ අන්ධකාරයත් එක්ක ම නොපෙනී ගිහින්. පස්සේ කිසි ම ආරංචියක් මේකි ගැන ඇවිත් නැහැ. කාලයකි ගියාට පස්සේ ආරංචියක් හම්බ වෙලා ඒකි උමගේ අනිත් කෙළවරින් මතු වෙලා කියලා" යැයි පනික්කියා දත් කතාව විජේසේකර වෙත කියා සිටියේ ය.
"ඈ බං...... එතකොට කොහෙලු ද දැන් ඔය කියන කෙළවර තියෙන්නේ? " යැයි ප්‍රශ්නයක් ඇසුවේ විජේසේකර ය.
"ඒක තමා බං පුදුමෙ.. ඒකි මතු වෙලා තියෙන්නේ බෝගොඩින් ලු" යැයි පැවසුවේ පනික්කියා ය.
"අප්පොච්චියේ....... හූ හතකටත් වඩා දුරයිනේ බං? ඒ කියන්නේ බුදුමුත්තාගල ලෙනින් පටත් ගත්ත උමග කෙළවර වෙන්නේ බෝගොඩින් එහෙනම්" යැයි විජේස්කර පුදුමයෙනුත් පුදුමයට පත් වී කියන්නට වුණි.
"ඔව් බං ඔව්......." පනික්කියාගේ පිළිතුර විය.
"ආහ් මං අහලා තියෙනවා බෝගොඩ ලෙන් විහාරය නම් හදලා තියෙනවා කියන්නේ වලගම්බා රජතුමා කියලා. ඇයි බෝගොඩ පාලම වලගම්බා රජ්ජුරුවෝ වෙනුවෙන් ම ඔහුගේ සේනාවලුනේ හදලා තියෙන්නේ. ඒ පාලම හදන්ඩ ලී වලින් එහාට එක ඇණයක් වත් ගහලා නෙවේලු බං තියෙන්නේ. අදටත් ඔය අපූරුවට ඒ පාලම තියෙන්නේ. නැද්ද බං? " යැයි විජේසේකර පැවසී ය.
මේ කතා බහ යද්දී පනික්කියගේ බිරිද හවස අනා ගත් පිටි වලින් සිල්ලර හදනවා හෙට පෙරහැර බලන්න ළමයි එක්කන් ගියා ම උන්ට කන්න දෙන්න. නැත්තම් උන් රෑ වෙද්දී බඩගිනියි කියලා කෑ ගහද්දි සල්පිල් වලින් කන්න අරන් දෙන්න තරම් මේ දෙන්නගේ අතේ කාසි නෑනේ.
පන්සලේ ලොකු හාමුදුරුවෝ සැමදා පනික්කියාට වැඩක් භාර දෙන්නේ පනික්කියා ඒ දේ හිස් මුදුනින් භාර ගෙන තමන්ගේ වැඩක් මෙන් සලකා අහවර කරන නිසාවෙනි. පනික්කියා තම මිතුරා සමග කුළුපග වුවත් නිතර ම සිටියේ සිතේ කනස්සල්ලෙනි.
"එහෙනම් පනික්කියෝ මං ගොහින් එන්නම්. හංදියේ කඩේට ආව ගමන් උඹේ මුණ බලලා යන්න කියලා ආවේ ගොඩ දොහකින් දැක්කෙත් නැති නිසා. මායියටත් කියපන් මං ගියා කියලා එහෙනන්." යැයි කියමින් නිවා දමා තිබූ කොලපත ද දල්වා ගෙන විජේසේකර පනික්කියාගේ නිවසින් නික් ම ගියේ ය.
පසුදා උදෑසන ම පනික්කියා තම දවුල ද කරපින්නා ගෙන තමාගේ රාජකාරිය වන මළුවේගොඩ රජමහා විහාරයේ තේවා වාදනය උදෙසා නිවසින් හිමිදිරි පාන්දර නික් ම ගියේ ය. මේ වන තුරුත් පනික්කියාගේ අදහස වූයේ කෙසේ හෝ සවස දරුවන් දෙදෙනා ව පෙරහැර බලන්න රැගෙන යාමට පැමිණෙන්න හැකි වේවි යන්නයි. ඒ නිසා මේ කිසිදු කරුණක් ඔහු තම බිරිදටවත් නෙැපැවසී ය.
උදෑසන තේවාව ද අවසන් වීමෙන් පසු ව පනික්කියා සහ පන්සලේ ඇබිත්තයා ආවාස ගෙයි පඩියකට වී කතා බහ කරමින් සිටියේ තේ උගුරක් ද රස විදින ගමන් ය.
"බුදුගේකන්ද ලෙන් විහාරය විනාස කල ඒ නිධන් හොරු ටිකට නම් සහ ගහනවා නේද බං? " යැයි ඇබිත්තයා තම හඩ අවදි කරන්නට විය.
"අනේ අම්මේ....... මොනාද බං කියන්නේ නැතුවයැ. උන් කරලා තියෙන අපරාධයක මහත බලපන්කෝ. ඕවා මහ තිරිසන් වැඩ බං අනේ... ඒ පාළිම වල සිරිස කඩලා ඇතුළට හාරලා දාලලු නේද?" ඒ මදිවට අර විහාරෙ ලග තිබුණු ලොකු තලියත් කුඩුපට්ටම් ම කරලා දාලලු නේද බං?"යැයි පනික්ියා ඇසුවේ ය.
"ඒකනෙ බං. ඔය නිධන් හොරැ මට අහු වුණානම් මං උන් ව කෑලි කෑලි වලට කපන්නේ බං. ඔය විහාරෙ හදන්න වලගම්බා රජ්ජුරු උන්නැහේ ජමොන තරම‘ දාඩිය මහන්සිය හෙලන්න ඇත් ද? ඒ උත්තමයා අද මේ වෙලා තියෙන වින්නැහිය දැක්ක නම් පපුව පැලිලා මැරිලා යයි බං.අසමජ්ජාතියෝ. උන්ට යන්න අපායක් නෑ බං" යැයි ඇබිත්තයා කීවේ ය.
ඒ කතාව යන අතරතුරේ දී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පනික්කියා සහ ඇබිත්තයා සිටින ස්ථානයට වඩින්නට විය.
"අද වෙසක් පුරා පෝය. මං ඊයෙ උඹට කිව්වා නේද පනික්කියෝ අද හැන්දෑවේ වැඩක් දා ගන්න එහෙ ම එපා කියලා. අද අපේ දායක සභාවේ පිංවතුන් සේර ම දෙනා හතර වෙද්දී එනවා විහාර මලුවට. උඹ විතරයි බං මට විස්වාසයෙන් වැඩක වගකීමක් භාර දෙන්න ඉන්න එක ම එකා. ඒ හින්දයි මං මේ උඹට කියන්නේ. ඒ වැඩේ ඉක්මනින් අහවර වෙයි. ඒකත් අහවර වුණාට පස්සේ අද හැන්දෑවේ හයට තියෙනවා විසේස ගිලන්පස පූජාවක්. ඒ පූජාවට තේවාවක් අත්‍යාවශ්‍ය වෙනවා. අද උඹ ඒක වාදනය කරන්න ඕනා එහෙනම්" යැයි පවසා නායක හාමුුරුවන් වහන්සේ බෝධි මළුව වෙත වැඩි සේක.
ඒ මොහොතේ පනික්කියාගේ සිතේ මැවුනේ සිරිමල්ගේ සහ නන්දාගේ මුහුණවල් දෙකයි. ඒ දෙදෙනාගේ අහිංසක බලාපොරොත්තුව දෑස් ඉදිරිපිට බොද වී යන ආකාරය සිතින් මවා ගත් ඔහු දැඩි කනස්සල්ලට පත් විය.
වේලාව සවස හතර වන්නට විය. දායක සභාවේ පිංවතුන් සෑම දෙනාම විහාර මළුවට රැස් විය. නව ආවාස ගෙයි වැඩ කටයුතු කෙරෙන ආකාරය පිලිබද කරුණු කාරණා කතා කර ගත් පසු ඔවුනොවුන් තම නිවෙස් කරා පිය මනින්නට විය.
"අම්මා...... මමයි නංගියි දෙන්න ම ලෑස්ති වෙලා ඉවරයි. තාත්තා ආව ගමන් අපි යමු නේද අම්මේ?" යැයි සිරිමල් ඇසුවේ පනික්කියාගේ බිරිදගෙනි.
"ඒක තමා මං මේ බල බල ඉන්නේ....... තාම තාත්තා නැත්තේ ඇයි කියලා. අපි තව ටික වේලාවකින් ගියෙ නැත්තම් ගිහින් වැඩකුත් නෑ. මොකද යන්න කියලා අපිට ඕනි වෙලාවට බස් නෑනේ.. හැබැයි පුතේ කවදාවත් එනවයැයි කියලා නෑවිල්ලා නම් ඉන්නේ නෑ. මෙච්චර පරක්කු වෙන්නේ පන්සලේ රාජකාරියවත් ලොකු හාමුදැරුවෝ දුන්න ද දන්නේ නෑ. අපි තව ටිකක් බලමුකෝ පුතේ " යැයි පනික්කියාගේ බිරිද සිරිමල්ට පවසන විට නන්දා තම මවගේ සාරි පොටේ එල්ලී සිටී.
දායක සභාවේ පිංවතුන්ගේ හා තම ප්‍රධාන රාජකාරිය වන තේවාව ද වයා අහවර නොට සවස පන්සලේ පැවති විශේෂ ගිලන්පස පූජාව අවසන් වන තුරු ද අවශ්‍ය පරිදි ශබ්ද පූජාව පවත්වා පනික්කියා තම නිවස බලා පිටත් විය.
ගෙදර දොර අඩවල් කර තිබූ අතර නිවස ම ආලෝකවත් කරන කුප්පි ලාම්පු එලියෙන් දක්නට ලැබුණේ පියෙකුගේ සිත විඩාවට පත් කරන දසුනකි. සාලයේ බිම එලා තිබූ පැදුරේ වාඩි වී බිත්තියට හේත්තු වී නින්ද ගොස් සිටින තම බිරිදගේ උකුලේ සුව නින්දේ පසු වන තම අහිංසක දරැ දෙදෙනා ය. ඔවුන් හැද සිටියේ පෙරේදා ගගට ගොස් සෝදා පෙරහැර බලන්න සිරිමල් සහ නන්දා සූදානම් කල වස්ත්‍ර වේ. නන්දාගේ අතේ සුදු කඩදාසියක විත්‍රයක් ඇද ඇති බව පනික්කියා දක්නට විය. ඔහු එම කඩදාසිය රැගෙන බලන විට ඔහු දුටුවේ එදා රෑ නන්දා විසින් අතින් අදිනු ලැබූ පෙරහැරක දර්ශනයකි.
පී.වන්දනා යසාංගි ඩයස්
HS / 2015 / 0181
සාම්ප්‍රධායික සන්නිවේදනය