MACO

Sunday, 19 August 2018

ලාංකේය සිතුවම් කලාව තුළ නිරුවත අවභාවිතය

නිරුවත වූ කලී මිනිසාට අරුම දෙයක් නොවේ. අරුම වචනයක් ද නොවේ. මන්දයත් උත්පත්තියේ දී ම උරුම කරගෙන එන උපන් ඇදුම වන්නේ ද නිරුවත වන හෙයිනි. කුඩා වයසේ පටන් වැඩි වියට පත් වෙද්දී සාමාන්‍ය හැගීමක් ව තිබූ නිරුවත අතිශය පුද්ගලික වූ ද සිත තුළ එකිනෙකා පිළිබද කුතුහලයක් ඇති කරන්නා වූ ද අපූර්ව වූ හැගීමකට පෙරලී විලිවසාගැනීමටත් නිරුවත ආරක්ෂා කර ගැනීමටත් මිනිසා පෙලඹිණි. ඔවුනොවුන් අයත් සංස්කෘතීන් තුලින් ඒ කෙරෙහි ඔවුහු යොමු කෙරෙති.


සත්‍යයෙන් ම නග්න සිරුරක් තුළ සැග ව ඇත්තේ අපූර්ව වූ කලාත්මක රිද්මයකි. ලාලිත්‍යයකි. "කලාවෙන් තොර ලොවක් නැත්තේ ය". යන කියමනට සාපේක්ෂ ව මෙකී නග්නත්වයට කලා කෙත තුළ ඇත්තේ ඉහළ ම ස්ථානයකි. අතීතයේ පටන් සිතුවම් කලාව තුළ බොහෝ ශිල්පීන් නග්නත්වය ප්‍රබල සංකේතයක් කොට ගත්හ. ඓතිහාසික යුගයේ පටන් ගලා ආ මෙය ග්‍රීක රෝම යුගයන් හීදී ප්‍රබල ව නැගී සිටියි. ඉන්පසු පුනරුද යුගයේ සිට පැබ්ලෝ පිකාසෝ, හෙන්රි ටුවර් වැනි සත්‍යවාදී හා ව්‍යුක්තවාදී ශිල්පීන්ගේ ග්‍රහණයට ද නතුව වෙනස් ම ආකාරයකින් සමාජ ගත වෙයි. වර්තමානය වන විට "නග්නත්වය" ම කලාව තුළ දිය හැකි උපරිම තත්ත්වය ජාත්‍යන්තර ශිල්පීන් ලබා දී ඇති බවට සැකයක් නොමැත. 

නමුත් වර්තමානය වන විට දී ලාංකීය සමාජය තුළ "නිරුවත" යන වචනය පවා එක්තරා මට්ටමකට කොටු වූ සීමා වූ අයුරක් දක්නට තිබේ. එයට හේතුව ලාංකීය සංස්කෘකිය තුළින් ශිෂ්ඨ යැයි කියා ගන්නා යම් යම් දේවල් තුළ නිරුවත කපා හැර ඇති නිසා විය හැකි ය. නමුත් වර්තමාන සමාජය තුළ අසන්නට දකින්නට ලැබෙන ඇතැම් සිදුවීම් තුලින් ප්‍රත්‍යක්ෂ වන්නේ නම් සංස්කෘතිය තුළ දමා ඇති ඇතැම් සීමා නිසා මිනිස් මනස විකෘති වී ඇති බව මෙන් ම  ශිෂ්ඨත්වය " නග්නත්වය" වැනි තේමාවක් යොදා ගෙන නිදහස් නිර්මාණයක් බිහි කිරීම අසීරු කටයුත්තක් ව ඇත. ඒ ඒ ලාංකීය ප්‍රේක්ෂකයාට කලාව තුලින් දකින සුන්දරත්වය වෙන් කොට හදුනා ගත නොහැකි වීම හා ඔහු උප සංස්කෘතිය තුළ ගතානුගතික වී ඇති නිසා ය. ලාංකීය කලාව තුළ නිරුවත අපහාසයට ලක් වීම ප්‍රධානත ම සාධකය මෙයයි.

සිස්ටයින් දෙව් මැදුර තුල ඇති "අවසන් විනිශ්චය" සිතුවම ඇදි මයිකල් ආන්ජලෝ වරක් මෙසේ පවසයි..

"අසැබි බව ඇත්තේ අපි දකින දේ තුල නොවූ අතර අප සිත් තුල ය". 

සැබැවින් ම සත්‍යය එයයි. වෙනස් කල යුත්තේ කලාව නොව ප්‍රේක්ෂකයාගේ චින්තනයයි. 



පී.වන්දනා යසාංගි ඩයස්
මුද්‍රිත මාධ්‍ය I පැවරුම
HS/2015/0181

7 comments: